Pages

29 April 2017

මට සමාවෙන්න මිස්


            මන් මේක ලියන්න ඇවිස්සුනේ කැලේ පිපුනු මල් ලියපු "මගේ ජීවිතේ පාට කළ අය"  ගැන ලිපිය කියවලා. මගේ ජීවිතෙත් පාට කරපු හුගක් මිනිස්සු ගැන මේ රෑ ජාමේ එකින් එක මතක් කරන්න පෙළබුනේ ඉන් පස්සෙ.
                      මන් පාසලේ ඉගෙන ගත්ත සමහරක් ගුරුවරුන්ට මාව හරියන්නෙ නැද්ද කොහෙද. සමහර වෙලාවට සාධාරන හේතු නොතිබුණාම නෙවෙයි ඒත් පහ වසරේ උගන්නපු සරත් කියලා ගුරුවරයෙක් ගැන තාම මගේ හිතේ තියෙන්නෙ පිලිකුලක් මිශ්‍රිත හැගීමක්.  ඒත් ගුරුවරු බොහෝ දෙනෙක් ඉන්නවා අදටත් අපි අළුත් අවුරුද්දකටවත් ඔහුන්ගේ ගෙදරක නොගියත් හම්බෙන්නෙ පාරෙද,ගෙදර ද කියලා තැනක් නොතැනක් බලන්නෙ නැතිව පැය, දෙක විහිළු තහළු කරමින් කතා කරන.
                                        සමහර ගුරුවරුන් හා අද තියෙන්නෙ ගුරුවරයා අභිබවා ගිය අතිජාත මිත්‍රයෙකුගේ බැදීමක්. මන් ලියපු බාලිකා ළමා නිවාසයේ කාලගෝට්ටිය , බඹර පදම,බලු පදම සහ කබර පදම  වගේ කතා වල ඉන්න සෙට් එකේ ඉන්න මගේ ප්‍රාණසම අතිජාත මිත්‍රයා අපේ ගෙවල් ළගම ඉන්න මගේ ගිණුම්කරණ ගුරුවරයා.ඒ එක් එක් ගුරුවරු ගැන වෙන වෙනම ලියන්න ඕනෙ. නැත්තම් ඒක ඔහුන්ට කරන අසාධාරණයක්
                       ඒත් අද මන් මේ ලියන්නෙ මට උගන්වපු ගුරුවරියන් දෙදෙනෙකු ගැන මට ඇති මතක.  මා ජීවිතේ දැඩිව කම්පනයට ලක් වූ අවස්ථාවක් සිදුවෙන්නෙ මින් එක් ගුරුවරියක සම්බන්ධව. මා ප්‍රමුඛවම මෙම ලිපිය ලියන්න පෙළබෙව්වෙ ඇය හා වූ මතක. ඒත් මොවුන් දෙදෙනාම එක්තරා කොන්දේසි විරහිත සෙනෙහසක්,රැකවරනයක්  මා කෙරෙහි වූ නිසා  මොහුන් දෙදෙනා ගැනම නොලියම බෑ.
                                                තාමත් ඔහුන් මට එතරම්ම ආදරේ කරේ ඇයි දැයි කියලා මට තේරෙන්නෙ නෑ. ඒත් මන් ඔහුන් දෙදෙනාටම පෙරළා එතරම්ම ආදරේ කරන්නෙ ඇයි දැයි කියලා මට කියන්න ඕනෙ. ඒ වගේම මට එක් ගුරුවරියගෙන් සමාව ගන්නත් ඕනෙ. ඔව් ඒකට හොදම ක්‍රමේ මේක.ඔබටත් තේරේවි ඒ ඇයි දැයි කියලා කියවනකොට.

            මට අසීමිතව ආදරේ කළ එක් ගුරුවරියක් මුන ගැහෙන්නෙ හතේ අටේ දී වගේ ඇය ඉංග්‍රීසි ගුරුවරියක් මෙන්ම පන්ති භාර ගුරුතුමිය. ඇය එකළ වයස විසි හතක් හෝ අටක් පමණ විය යුතු රූමත් ගුරුවරියක්. ඇය මට ඇයගේ දරුවෙකුට වගේ ආදරේ කරා. මන් ඉගෙනගන්න දක්ශයෙකුත් නෙවෙයි, විශේෂයෙන්ම ඉංග්‍රීසි. මන් හිටියෙත් පිටි පස්ස පේළියේ අයිනෙම. මලාට පොතක් පෙන්වන්නෙත් නෑ. ඒත් ගිරවා වගේ කට පාඩමින් පොතනම් කියවනවා පන්තියටම ඇහෙන්න. මොකද ටියුෂන් ක්ලාස් එකේ ඒ පාඩම් කටපාඩම් කරවපු නිසා.
                                                           ඇය මන් මොන වැරැද්දක් කරත් මට කවදාවත් ගහලා නෑ. මන් කව්රු හරි එක්ක ගහගත්තත් මිස් ගහන්නෙ අනිත් කෙනාට. ඒකට  කොල්ලො හිත යටින් ටිකක් අප්සෙට් එකේ හිටියේ.මට මතකයි එක දවසක් එහෙම ප්‍රශ්ණයක් වෙලා මිස් අනිත් එකාට ගහද්දි ඌ ඇහුවා ඇයි මට ගහන්නෙ නැත්තේ කියලා. මිස් කරේ ඊට පස්සෙ උගේ කටටත් ගහලා එකට එක කියවන්න එපා කියලා අව්වේ දන ගස්සපු එක.
 "*** එහෙම ගහගන්න ළමයෙක් නෙවෙයි කියලා" මිස් පන්තියට ඇහෙන්නම කියනවා
                                            එතකොට මීවිත පත්තරේ ගියා ආදර කතාවක් ඒකෙ තිබුනේ අහිංසක කොල්ලෙක්ට දේශපාලකයෙක්ගේ රූමත් දුවෙක් ගොඩක් ආදරේ කරන කතාවක්.මන් ඒ කාලෙ හිතුවේ ලස්සන ගෑණු ළමයි කැමති අහිංසක පිරිමි ළමයින්ට කියලා. ඉතින් මන් මිස්ට පේන්න හිටියේ අහිංසක ළමයෙක් වගේ.
                          මිස් කැමැතියි ඒ කාලේ සපත්තු පොලිෂ් කරලා ,කොන්ඩෙ පීරලා පිරිසුදුවට එනවට. මන් පිළිවෙලකට එන එකෙක් නෙවෙයි ඒත් මට පස්සෙ මිස්ගේ මේ තියෙන කැමැත්ත නැති උනොත් කියලා මන් කොන්ඩෙ ජෙල් ගෑවෙ මුලින්ම ඒ කාලෙ. අනිත් අය වගේ නෙවෙයි මිස් කොණ්ඩෙ ජෙල් කරනවට,ෂර්ට් බැගී දානවට කැමතියි.
                             ඒත් ටික කාලෙකට පස්සෙ පන්තිය ඇතුළේ දෙපැත්ත බෙදිලා ගහගත්ත ලොකු වලියක් ගියා පොඩි වුනත් අපි ඒකට ලොකු අයියලටත් කියලා ගැස්සුවා. මොකද මුලින්ම අපිට එහෙමයි ගැස්සුවෙ උන්. මේක තමයි මිස්ට දෙවැනියට ලොකුවටම කේන්ති ගිය දවස.
                                                     මිස්ට එදා කේන්ති ගියේ මේකට ලොකු පන්ති වල අය සම්බන්ධ කරගත්ත නිසා ඒ ඒ පන්තිත් ගහගත්ත නිසා. එදා මිස් කිව්වා ඔක්කොම ප්‍රින්සිබල් ළගට අරන් ගිහින් අම්මලව ගෙන්වනවා කියලා. මිස් කිව්වොත් කිව්වා අපි ඔක්කොම හොදටම බයවෙලා හිටියේ මිස්ගෙ කෝට්ටෙන් කන කෑම නෙවෙයි ප්‍රින්සිබල් ළගට අරන් ගියොත්, ඊටත් වඩා ගෙදරට ආරන්චිය ගියොත් කන කෑම හිතාගන්නවත් බෑ. මොකද ඒ කාලෙ ප්‍රින්සිබල් ගාවට අරන් ගියේ එහෙමමත්ම ප්‍රශ්ණයක් වුනොත් විතරයි.
                     මිස් එක එක්කෙනාගෙන් ගගහා අහනවා. මාත් පිටිපස්සට වෙලා ඉන්නවා. එතකොට කට්ටියට මිස් ගහලම අහගන්නවා මේක මගේ ප්‍රශ්ණයක් කියලා, ඒ වගේම අදුරන අයිය කෙනෙක්ට මේක මුලින්ම කිව්වෙත් මන් කියලා. මිස් මට හොදටම බැන්නා හැබැයි ගැවුවේ නෑ. ප්‍රින්සිබල් ළගට අරන් ගියෙත් නෑ.
                                       ඊට පස්සෙ දවසක ඒ ගැන වෙන මිස් කෙනෙක් එක්ක කතා කරනකොට මිස් මගේ අතට ගගහා කියනවා මේ ඉන්නෙ වසවර්තියා.කොල්ලො ඉතින් ඔහොම තමයි කියලා. එදායින් පස්සෙ මට තිබුණු ප්‍රශ්ණේ තමයි අහිංසක කොල්ලොන්ටද  ලස්සන කෙල්ලො කැමැති නැත්තම් චණ්ඩි කොල්ලොට ද කියලා.
                                                    එතකොට මිස්ට හොදටම කේන්ති ගිය අනිත් දවස වෙන එකක්. එතකොට මිස්ට බබෙක් හම්බෙන්න ඉන්නවා.මිස් අමාරුවෙන් තමයි ඇවිදින්නෙත්. එතකොට අපේ කොල්ලො මිස්ගේ බබා හම්බෙන්න ඉස්සෙල්ලා ක්‍රියාදාම ගැන නොයෙකුත් කතන්දර කියනවා. එහෙම තමයි කොල්ලො මොකද ඔය කාලෙ තමයි ඔව්වා ගැන කුතුහලයක් ඇතිවෙන කාලෙ මොකද හරියට කෙල්ලෙක් ලොකු වෙනවා කියන්නෙත් මොකද්ද කියලා හරියට නොදන්න නිසා ඔවා ගැන පට්ට කුතුහලයක් තිබ්බෙ.
                                   කොටින්ම අපේ දැනුම් මට්ටම කොච්චර දියුණුයි ද කිව්වොත්. අපි හතේදී හිතන් හිටියේ අර අරම වෙනකොට පට්ට සීතලක් හැදෙනවා කියලයි.මොකද අපි හැම එකාම ටයිටැනික් ෆිල්ම් එක බලලා තිබ්බා. කොහොමින් කොහොම හරි මිස් පන්තිභාර නිසා මුල්ම පීරියඩ් දෙක තමයි මිස්ගේ. මිස් එදා රස්නෙ හින්දා වෙන්න ඇති කොම්පියුටර් රූම් එකට යන් කිව්වා ඔක්කොටම. මොකද ඒක ඒ.සී නෙ. මිස්ගෙ හොදම යාළුවා තමයි ඒක භාරව ඉන්න මිස්.
                                             එතකොට එකෙක් කිව්වා කොම්පුටර් රූම් එකටද? ලේබර් රූම් එකටද? කියලා. මිස්ගේ තිබ්බ ඔක්කොම අමාරු නැතිවෙලා ගිහින් යකා ආවේශ වුණා. කියාපු එකාට ගහගෙන ගහගෙන ගියා. ඒ විතරක්ද අර අව් කාෂ්ඨකේ පිට්ටනිය  මැද්දෙ දන ගැස්සුවා. පිරියඩ් දෙකක්ම. ඒත් මිස් දැනගත්තා පාඩමවත් කියවන්න බැරි මිනිහා ඒ වගේ වචනයක් දන්නෙ නෑ කියලා.මිනිහගෙන් ඇහුවා කව්ද කිව්වෙ කියලා. ඔව් ඇත්ත ඒක මුලින්ම කිව්වෙ මම ඒත් හෙමින් මොකද මන් බලපු ෆිල්ම් එකක බබා හම්බෙන තැන කාමරේ ඕක ගහලා තිබ්බා.
                                       මිස් මට මුලින්ම ගැහුවෙ එදා අතට එකක් ගහලා කෝට්ටත් පැත්තකට විසික් කරන ගමන් කේන්තියෙන් මිස් වාඩි වුණා. මන් ගොඩ දවස් කීපයක් යනකම් මිස්ගෙ මූනවත් කෙලින් බලන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ. ඒත් මිස් එහෙම නෑ වෙනදා වගේම පස්සෙන්දා ඉදන් කතා කරා.
                         ඒ විතරක් ද පන්තියෙ උප නායකයා, නායිකාව, උප නායිකාව කිහිප පාරක්ම මාරු කරා. මන් කොච්චර අකමැති වුණත්. මෙලෝ වැඩක් නොකරත් මන් තමයි මිස් ඉන්නකම්ම පන්ති නායකයා.  මිස් හැමදේටම කතා කරන හොදම ගෝලයා.
                                           අන්තිමේදි මන් ඉස්කෝලෙන් අස්වෙලා පහු කාලෙක ගියා ක්‍රිකට් සෙල්ලම් කරා කියලා සහතිකයක් ගන්න. කෝච් ඒක ලියන්න දුන්නෙ අපේ මිස්ට. හතෙන් අටෙන් පස්සෙ මිස් මට උගන්නලා නෑ. ඒත් මිස්ගේ ආදරේ ඒ වගේමයි. අපේ ඉස්කෝලෙ කැප්ටන් කරපු අපේ අයියගෙ සහතිකේ තිබුනේ ජේද දෙකයි. මගේ ජෙද හතරයි. ඒකත් ඒෆෝ කොළයක් පුරවලම. මාව හදුන්වලා තියෙන්නෙ බ්‍රිලියන්ට් ක්‍රිකටර් කෙනෙක් කියලා. සමහර වෙලාවට සංගටවත් එහෙම සහතිකයක් නැතිව ඇති. අපේ කෝච්ට මට වගේම ඉංග්‍රීසි තේරෙන්නෙ නෑ කියලා මට එදා තේරුණා, මොකද තේරුණානම් මිනිහා ඒක සයින් කරන්නෙ නෑ.
                                                    මුලදිම කිව්ව කම්පනේ ඇතිවූනේ දෙවැනි මිස් එක්ක. ඒ මිස් ඉගැන්නුවෙ විද්‍යාව දහය සහ එකොළහ වසර වල මගේ පන්තිභාරව හිටියේ මේ මිස්. මිස් පෙන්ශන් යන්නත් කිට්ටුයි එතකොට. වයෝවෘද්ධයි.....ඒවටත් හරියන්න විෂය දැනුම හොදටම තිබ්බා.
                            ඒ මිස් ආදරේ කරේ මට විතරක් නෙවෙයි මටයි මගේ හොදම යාළුවටයි දෙන්නටම.... ඒ කාලෙදි කොහොමත් පොත් බලන්නෙත් නෑනෙ.  මන් මේ කියන යාළුවත් මේ බොලොග් එක බලනවා.මන් පෙර ලිපියකිනුත් කියලා ඇති අර ගෑණු ළමයින්ගෙ සිහින කුමාරයා.පෙර වගේ තමයි පන්තියෙ අතුළෙ මොන වැඩක්වත් කරන්නෙ නෑ. අවුරුදු දෙකටම පොතක් ඉවර වෙන්න ලියලත් නැතිව ඇති.                        
                                                          විද්‍යා නිම්න සංගමයේ තරග, අනෙකුත් විද්‍යා අංශයේ තරග,කලාප තරග ඔය හැම එකකටම මිස් යැව්වෙ මායි මගේ යාලුවයි කව්රු ලකුණු වැඩිපුර ගත්තත් මිස් යැව්වෙ අපිව. සමහර වෙලාවට මොකක් හරි වැඩක් නොකර ආවම මිස් පන්තියේ හැමෝම එළියට දානවා.  මායි මගෙ යාලූවයි ඇතුළට ගන්නවා. ඕලෙවල් කාලෙ නිසා කොල්ලොගෙ එතකොට ඒකට අප්සෙට් එකක් තිබුන් නෑ ඉස්සරින් වගේ.
                          ඒත් වැඩි සැලකිලි අපිව අපහසුතාවයට පත් කරපු අවස්ථාත් නොතිබුනාම නෙවෙයි. මිස් මුළු පන්තියටම සමහර වෙලාවට කියනවා. අපි වැඩ නොකරට බනින්නෙ නැත්තේ. කොච්චර නොසන්ඩාල වැඩ කරත් අන්තිමට ඔක්කොටම වඩා හොදට ගොඩ යනවා කියලා දන්න නිසා කියලා. මිස්ගෙ හිත කැඩෙන හින්දම අතරමැදි වාර විභාග ලියන්නෙ නැතිව අපි කට් කරනවා.මොකද අපේ ළකුණු මදි වුනොත් අපිට වඩා මිස්ගෙ හිත නරක් වෙනවා.            
                                     එක පාරක් සර් කෙනෙක්  මට දුන්නා දීමනාවක් උදේ රැස්වීම කට් කරා කියලා ආයේ ඉස්කෝලෙ යන කාලේ ඒ වගේ කෑමක් කාලා නෑ එකපාරක්වත්. විනාඩිම විස්සක් විතර ගැහුවා. ඒ සර් තමයි අපේ ඉස්කෝලෙ දරුණුම සර්. විකට නාමය තමයි ඇණකොන්ඩා. නමෙන් හිතාගතෑකිනෙ සර් ගැන.
                             ආයෙ මෝල් ගස් වලින් ගහනවා වගේ තමයි. ඒ ගැහිල්ල කොච්චර දරුණුද කිව්වොත් වයිස් ප්‍රින්සිබල් හිටපු මිස් ඇවිල්ලා සර්ගේ ඇගේ එල්ලිලයි මාව බේරගත්තේ.   මුළු ඉස්කෝලෙම ඉස්සරහා. ඒක මොන වගේද කිව්වොත් සමහර වෙලාවට පොඩි කෙල්ලො,කොල්ලොත් සෑහෙන කාලයක් යනකම් ඉන්ටිවල් එකේදි මාව පෙන්වා පෙන්වා යනවා යාලුවොන්ට.
                              ඒත් එදා මිස් ට තිබුනෙ ඩබල් පීරියඩ්. මිස් පන්තියට ඇවිල්ලා පීරියඩ් දෙකේම කරේ අඩපු එක. හිතන්න මිස් කෙනෙක් ළමයෙක් වෙනුවෙන් අඩනකොට මොන වගේ හැගීමක් ද තියෙන්නෙ. මිස්ට මගේ තියෙන ආදරේ වචන වලින් කියන්න තේරෙන්නෙ නැති විදියට පුපුරලා ගියේ එදා.  මිස්ගේ තියෙන ආදරේ අපිරිමිතව දැනුනෙත් එදා.
                                                    මන් දහය වසරෙ අන්තිම වාරයෙදි තුන්වැනියා වුණා මගේ යාලූවා හතරවෙනියා වුණා. මිස් එදා අපි පන්තියේ පළවෙනියා වුණා වගේ හැගීමකින් කතා කරා. මිස් කිව්වා වැඩ නොකරට අපි කව්ද කියලා මිස් දන්නවා කියලා. මිස් කිව්වා හොද තැනකට ගිහින් මිස්ව හම්බෙන්න නිතරම එන්න කියලා.අපි එකොලහ වසරේ ඉවර වෙලා ඒ ලෙවල් කරනකන් තියෙන අතර මැදි කාලෙ මිස් පෙන්ශන් ගියා.
                                                      එක පාරක් අහම්බෙන් පාසලට වැඩකට ආපු ම්ස් අපි දෙන්නට කතා කරලා කිව්වා. හොද තැනකට ගිහින් මිස්ව අමතක කරන්න එපා කියලා. මිස් කියපු විදියට හිනත් ගියා.
            ඒත් මට තාමත් මිස්ට කටක් ඇරලා කියන්න පුළුවන් තරම් තැනකට එන්න බැරි වුනා. මොකද මිස් අපෙන් හැමෝටම වඩා ලොකු දෙයක් බලාපොරොත්තු වුණා. මාත් මාගෙ යාළුවත් ඉස්කෝලෙ කාලෙන් පස්සෙ හම්බුණු හැම වතාවකදිම වගේ මචන් මිස් බලන්න යන්න ඕනෙ කියලා කිව්වත්. එහෙමැයි කියලා කියන්න පුළුවන් මට්ටමක මම හිටියේ නෑ. ඒත් මගේ යාලූවානම් හිටියා. ඌට මන් දාල තනියම යන්නත් බෑනේ.
                        අවුරුදු හතර පහ ගෙවුණා. පසු ගිය අවුරුද්දට ඉස්සරින් අවුරුද්දෙ වගේ දවසක ආරන්චියක් ආව. ඔව් මන් වචන වලින් කියන්න බැරි තරම් මානසිකව වැටුනා. මිස් නැති වෙලා.......... ඒ අවුරුදු හතරට පහට එක වතාවක්වත් මිස්ව බලන්න යන්න බැරි වුණා. ආරන්චි වුණ දවසෙම රෑ මාත් මගේ යාළුවත් මිස් ලෑ ගෙදර හොයාගෙන ගියා. ඒ ගේට්ටුව ඇතුළට ගිහින් මිස්ගේ සිරුර බලන්න තරම් හයිය හිතක් නැතත් අපිට යන්නම වුණා. අදුරන කව්රුත් නෑ ඒත් අපිට තමන්ගෙ දරුවොන්ට වගේ ආදරේ කරපු මිස් ඉන්නවා සාලෙ මැද ඇස් දෙක පියාගෙන.
                                                    මිස් ජීවත්වෙනකොට අපිට එන්න පුළුවන් වුනානම් මේ සාලේ මැද්දෙම මිස්ගේ හිනාව මොනවගේ වෙන්න තිබ්බද. මන් අඩන එකෙක් නෙවෙයි මිස්.  ඒත් සමහර හැගීම් එක්ක සටන් කරන්න මට බෑ. මොකද මිස්ගෙ ආදරේ අද්දර මගෙ හිත ගොඩක් දුර්වලයි මිස්.
                                     මිස් කෙනෙක්ගෙ ආදරේ මොන වගේද කියලා කියලා දුන්න සින්ඩ්‍රෙල්ලා ගුරුතිමියනි මට සමාව නොදුන්නට කමක් නෑ. ඒත් මතු ජීවිතෙකවත් මෙච්චර කම්පනයක් ඇති කරලා නොසිතපු වෙලාවක අපෙන් සමුගන්න එපා. මට මීට වඩා ඔබතුමිය ගැන ලියන්න බෑ දැන්. ඔබ තුමියගේ වියෝව එච්චරටම අදුරු තැනක අපිව හන්ගපු නිසා.මගේ මෑණියනි ඔබතුමියට නිවන් සුව...................


ප.ස.-  මෙම ලිපිය ලියා අවසන ඊයේ රාත්‍රියේ තවත් ආරංචියක් ආව.විචාරක බොලොග් අඩවිය ලියන විචාරකතුමා ජීවිතයෙන් සමු අරන් කියලා. මන් හිතන්නෙ මන් බොලොග් ලියන්න එන මුල් කාලෙදිම තමයි ඔබතුමා අසනීප වෙන්නෙ.
                             ඒත් ඒ සුළු කාලයකදී හෝ මගේ සමහර ලිපි කියවලා කමෙන්ටු කොටලා තිබ්බා. ඔබතුමා ගැන වැඩි දේ නොදන්නා මුත් මන් හිතන්නෙ ඔබතුමා නම් නිවන් යන්න කැමති නෑ. ඒ නිසා  නිවන් සුව පතන්නනම් බෑ.ඒත් සුභ ගමන් විචාරක තුමනි.ගිය තැනක කාලා බීලා ජොලියෙ ඉන්න............අපිත් එයි දවසක එදාට අපිටත් සලකන්න..........

50 comments:

  1. අපිට ආදරයකරපු අපි ආදරයකරපු අය ජීවිතේ එක කාලෙකදි අපිට මගඇරෙනවා. සමහරවිට ආයෙත් එයාලව දකින්න ලැබෙන්නෙත් නෑ. ආරංචිවෙනවා මියගිහිල්ලා සුමානයක් වෙනවා කියලා. ඒතකොට තමයි අර වරදකාරි හැගිම හිතට එනවා හැබැයි එක හිතෙන් මකලා දාන්නනම් කවදාකවත් බෑ. උඹේ කතාව තදින්ම හිතට වැදුනා.

    ReplyDelete
    Replies
    1. ඔව් බන් මට මේ එන හැගීම කියන්න තේරෙන්නෙ නෑ. මට නිතරම හිතෙනවා. අඩුමගානෙ එකපාරක්වත් මිස් බලන්න ගියා නම් මිස්ගෙ හිනාව මොන වගේද කියල. එහෙනම් මෙච්චර අප්සෙට් එකක් නෑ බන්.

      Delete
  2. අප්ෆා,හරිම දුකයි... අම්මට තාත්තාට සලකන ටිකත් ඔය වගේ තමා.. නැති උනාම දැනෙන්නේ ඉන්න කොට මීට වඩා මට සලකන්න තිබුනා නේද කියලා. කවදාවත් පශ්චාත්තාප වෙන්න ඉඩ තියන් නැතුව පුලුවන් පුලුවන් විදියට අපේ ජීවිතයට සමීප අයව බලන්න යන්න, සලකන්න අපි දැන් ඉඳලම පුරුදු වෙන්න ඕනා..

    ReplyDelete
    Replies
    1. ඔව් අරුෂි..ඉන්නකොට කවදාවත් හිතෙන්නෙ නෑනෙ අපිට නැතිවෙයි කියලා. කවදා හරි යන්න පුළුවන් කියන සිතුවිල්ලනෙ එන්නෙ. ඒත් නැතිවුනාම..? දැනෙන දුක වැඩියි හිතුවටත් වඩා. එ නිසා ඔයා කියනවා වගේ සමහර දේවල් වලට පරක්කු වුණාම පසුතැවිල්ලක් තමයි ඇතිවෙන්නෙ අරුශි..

      Delete
  3. ආහ් මං ලීපු එකෙං උත්තේජනයක් ලැබපු එක ගැන සතුටුයි මල්ලී.
    ඇස්දෙකට කඳළු ආපු ලියවිල්ලක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කෙ. මේ ගුරුවරියන් දෙන්නම මගේ ජීවිතේ වෙනස් කම් කරාට වඩා හිතාගන්න බැරි තරම් සීමා රහිත ආදරයක්,රැකවරනයක් දැක්වූවා.

      Delete
  4. රෝමෝ.. මේ සංවේදී ලිපිය මාවත් අතීතෙට අරන්ගියා. පොඩිකාලෙ ඉදන් ගරු කරපු ගුරු චරිත බොහෝමයක් මටත් තියෙනවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් බන් ගරු කරන චරිතත් ගොඩක් ඉන්නවා.ඔය මට රැස්වීම ඉස්සරහා ගහපු සර්ත් එහෙම කෙනෙක්.ස්තූතියි මචෝ.......

      Delete
  5. උඹ අර ප්‍රන්සේ Emmanuel Macron, ටීචර්ව බඳින්න තරම් වැඩේ දුර ගෙනියන්න නැතිව ඇති නේද

    ReplyDelete
    Replies
    1. මොකද්ද බන් උගෙයි මේ කතාවෙයි තියෙන සම්බන්දේ

      Delete
  6. ස්කොලේ කතා නම් ඕනේ තරම්

    ජය වේවා ..!!!!

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති. මේ කතා ටිකක් වැඩිපුර මට දැනෙනවා. ස්තූතියි...

      Delete
  7. මෙතනදිනම් උඹ නමට ගැලපෙන්න වැඩ කරලා

    ReplyDelete
    Replies
    1. නම් ගම් බලාගෙන වැඩ කරන්න මන් ඇමතියෙක්යෑ? ස්තූතියි ගොඩ වැදුනට

      Delete
  8. මටත් හරි ආදරෙන් හිටපු මිස්ල කීප දෙනෙක්ම හිටිය. මුල්ම මතකය තියෙන්නෙ මං 5 වසරෙ ඉද්දි. සිතුමි කියල මිස් කෙනෙක්. විද්‍යාපීඨයෙන් සීමාවාසී පුහුණු වෙන්න ආපු කෙනෙක්. අම්ම කෙනෙක් වගේ..

    ReplyDelete
    Replies
    1. ඒකට මට පහ වසරේ මුල වාරෙට සෙට් වෙච්ච එකා. ඕකෙ අනිත් පැත්ත.මන් අර උඩින්ම කියලා තියෙන්නෙ.

      Delete
  9. ගෙදර කෙනෙක් වගේ සමීපවුන ගුරුවරු මටත් හම්බෙලා තියෙනවා...

    ReplyDelete
  10. අපේ ඉස්කෝලේ හිටියා "බවා" කියලා වයිස් පිරින්සිපල් අදටත් පාරේදී දැකොත් මග ඇරලා යනවා ඒ තරම් මට ඌ අප්‍රියයි

    ReplyDelete
    Replies
    1. එහෙම ඩයල් ඕනතරම්...එහෙම අප්‍රිය එවුන් හැමතැනම

      Delete
  11. ඇස් තෙත්කල කතාවක් මේකත් , හරිම සංවේඳීයි...මටත් ඉන්නවා අමතක කරන්න බැරි තරම් ජීවිතේට සමීප ගුරුවරියනුත් මතක් උනත් පිලිකුළක් ඇති වෙන විදියේ ගුරුවරියනුත්. වෙලවක ලියන්නම්කෝ මමත්

    ReplyDelete
    Replies
    1. ලියන්නකො බලන්න ඒ මතකත් බොලොග් එකේ. බොහොම ස්තූතියි සොදුරු...

      Delete
  12. Harima sanwedi lipiyak!Ithama asawen kiyewwa.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සරත් පෙරේරා

      Delete
  13. Monawa liyannada Manda ban. Guruwarunta api hamadama nayayi. Umba umbe teacher balanna nogiya eka bohoma Loku waradak. Yuthukam Saha wagakeem hetata Kal dameema jeewitha kalema pasuthavili wenna hethu wenna puluwani. Vicharaka nathiwechchi dawasema mage Loku Amma nathiwuna. Eth mama Inne hungak dura rataka nisa mata yannama dawas dekakata wada Yana nisath funaral ekata enna vidihak naha. Awasana katayuththata sahabagi wenna nolabime hith amaruwa daraganeema harima apahasuyi. Me mata ehema wechcha thunweni wathawa. E hith amaru jeewitha kaletama hithe ithuruwena dewal.

    ReplyDelete
    Replies
    1. හප්පා . සමහර දේවල් තියෙනවා සමාව දෙන්න පුළුවන් අතපසු වීම්. අම්බලංගොඩට ඒ සැනසීමවත් තියෙනවා. ඒත් මට එහෙම නෑ. ඒක හිතේ කොනක තියෙන පාරන තුවාලයක් වගේ. මතක් වෙනකොට ආයෙත් වේදනාවක් ඇති වෙනවා කොච්චර අමතක කරන්න හැදුවත්. කොහොම උනත් එතුමියට නිවන්සුව පතනවා.

      Delete
  14. එක සීරුවට කියවගෙන ගියා අයියෙ..මන්දා මාව හිර වෙලා වගේ දැනෙනව..මාරයි..

    වැහිබිඳු

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වැහිබිදු. ඒත් කෝ ප්‍රොෆයිල් එක

      Delete
    2. අනේ බං අයියෙ දුමී අයියත් සිය සෝකය ප්‍රකාස කලා බලන්ටකො වෙච්ච දේ වනේ වන හතුරෙකුටවත් වෙන්න හොඳ නැති දෙයක් උනේ විභාගය අවසන් වනතුරු බ්ලොග් කෙරුවාව තහනම් කලානේ පියතුමා..

      වැහිබිඳු

      Delete
    3. හපොයි එහෙමද කමක් නෑ තව මේ මාස ටික මහන්සි වෙලා වැඩ කරලා ගොඩයන්න. ඊට පස්සෙ බැරියැ එන්න දිගටම (මෙව්ව ඉතින් වැදි බණ තමයි)

      Delete
  15. මටත් මේ වගේ ආතරේ කරපු සර්ල මිස්ලා හිටිය. කොයිතරම් නොසන්ඩාල වැඩකලත් මාව බේරගත්ත.

    ReplyDelete
    Replies
    1. ඔව් බන් සමහර ගුරුවරු කරන්නෙ සීමා රහිත ආදරයක්

      Delete
  16. මටත් ඔය වගේම අත්දැකීම් බර ගානක් තියෙනව ,, අැත්තටම ඒව මතක්වෙනකොට දුක , සතුට දෙකම ඇතිවෙනව..
    මම දවසක ඒ අත්දැකීම් ගැන පෝස්ට් එකක් දාන්න ඕන.. ඒත් තාමත් මම ඉස්කෝලෙ පැත්තෙ යන නිසාත්,,මගෙ බ්ලොග් එක බලන යාලුවො ගුරුවරුන්ගෙ ලමයි වීමනිසාත් වැඩේ ටිකක් කල් යයි...
    නියම පෝස්ට් එකක් රොමා.. උබට වෙච්ච දේවල්ම තමා මටත් වෙලා තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. හා එහෙනම් සෑහෙන කල් යයි පෝස්ට් එකට. හැමතැනකම දරදඩු මානසික ආතති වලින් පෙලෙන ගුරුවරු මෙන්ම සීමා රහිත ආදරයක් දක්වන ගුරුවරුත් ඉන්නවා කියලා මට තේරුම් ගියේ මේ පෝස්ට් එකෙන් පස්සෙ බන්...කමක් නෑ කල් ගියාට දාපු දවසක බලන්න බැරියැ

      Delete
  17. ගුරුවරුන්ට ළමයින්ගේ ජීවිත වෙනස් කරන්න මාර හැකියාවක් තියන්නේ .

    ReplyDelete
    Replies
    1. හොදට සහ නරකට කියන දෙපැත්තටම. ගුරුවරුවරුන්ට විෂය දැනුම වගේම ළමයි එක්ක ගණුදෙනු කළ යුතු ආකාරයත් විශට විදියට උගන්වන්න ඕනෙ.

      Delete
  18. ගුරුවරු අපේ ජීවිතවලට එන ආශිර්වාද !

    ReplyDelete
    Replies
    1. ඔව් අපි ගෙදරින් පිට වුනු ගමන් මුලින්ම ඉගෙන ඔහුන්ගේ පෞර්ශ්‍යය(හොදට හෝ නරකට)
      ඒ නිසා හොද ගුරුවරයෙක් කියන්නෙ සැබෑ ආශිර්වාද්යක්. බොහොමත්ම ස්තූතියි ගොඩ වැදුණට.

      Delete
  19. හ්ම්ම්ම්ම් හරිම සංවේදි

    ReplyDelete
  20. මීවිත එකේ ගියපු කතාවේ කතා නායකයා ගේ නම කෝසල ද???

    ඇයි බොල මොකක්ද ආයේ හොඳ තැන???
    යන්ට එපැයි එයාව බලන්ට...
    ඒත් දැන් මොනවා කරන්ට ද???

    මට තාමත් හිතා ගන්ට බෑ ඒ ගුරුවරු දෙන්නාම ඇයි ඔයාට වෙනසක් කරේ කියලා...

    ReplyDelete
    Replies
    1. එහෙම මතක නෑ බන්. හැබැයි මුල්ම පිටුවෙ ගියෙ.කොල්ලනම් සෑහෙන්ඩ අවිහිංසක පේමවන්තයෙක් මිනිහට හැගීම් දැනීම්වත් නැත්ද කොහෙද. කෙල්ල දේශපාලකයෙක්ගේ හැම පැත්තටම ෆෝවර්ඩ් කෙනෙක්.
      මටත් හිතාගන්න බෑ බන් ඒ ඇයි කියලා.මිස් අපෙන් ලොකු දෙයක් බලාපොරොත්තු වුණා ඒකයි නොගියෙ. දැන් වුනු දේ වෙලා ඉවරයි ආයෙ හදන්න බැරි විදියට.

      Delete
  21. මේක කියවනකොටනේ බං මතක් උනේ. මමත් ඉස්සර ඉස්කෝලේ ගියානේ.
    එක දවසක් පින්සිපල් 'නිකරුනේ' ගැහුවා බං මට. නිකරුනේ කියන්නේ බං එදානං මම කිසිම වැරැද්දක් කරේ නැහැ. හැබැයි ගැහුවා කියන්නේ ඉතින් පවසලා පලක් නෑ. දුන්න ඉතිං රඹටි හැලෙන්ඩ. හැබැයි එදා මට ඌව අල්ලගන්ඩ බැරිඋනා, ඒ නිසා පස්සෙන්දා රිටන් එක දෙන්ඩ හිටියේ. තාත්තා නොවැන්ද විතරයි ඌට ගහන්ඩ එපා කියල.
    හැබැයි එදා ගේම දුන්නනං අද මේ කොමෙන්ට් දාන්ඩ හැට්ටර් නැහැ මලේ.
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ඔය මට ගහපු සර් එක්කත් මන් ඒ දවස් වල හිටියේ පට්ට මලෙන්. මිනිහට මානව හිමිකම් එකෙත් කේස් තිබුණා. ඒත් ඉතින් ඒ.ලෙවල් වෙනකොට මිනිහ තරම් ෆිට් එකක් තවත් නෑ. බොහොම සතුටුයි හැට්ටර්ව හදුනගන්න ලැබීමත්...

      Delete