මන් මේක ලියන්න ඇවිස්සුනේ කැලේ පිපුනු මල් ලියපු "මගේ ජීවිතේ පාට කළ අය" ගැන ලිපිය කියවලා. මගේ ජීවිතෙත් පාට කරපු හුගක් මිනිස්සු ගැන මේ රෑ ජාමේ එකින් එක මතක් කරන්න පෙළබුනේ ඉන් පස්සෙ.
මන් පාසලේ ඉගෙන ගත්ත සමහරක් ගුරුවරුන්ට මාව හරියන්නෙ නැද්ද කොහෙද. සමහර වෙලාවට සාධාරන හේතු නොතිබුණාම නෙවෙයි ඒත් පහ වසරේ උගන්නපු සරත් කියලා ගුරුවරයෙක් ගැන තාම මගේ හිතේ තියෙන්නෙ පිලිකුලක් මිශ්‍රිත හැගීමක්. ඒත් ගුරුවරු බොහෝ දෙනෙක් ඉන්නවා අදටත් අපි අළුත් අවුරුද්දකටවත් ඔහුන්ගේ ගෙදරක නොගියත් හම්බෙන්නෙ පාරෙද,ගෙදර ද කියලා තැනක් නොතැනක් බලන්නෙ නැතිව පැය, දෙක විහිළු තහළු කරමින් කතා කරන.
සමහර ගුරුවරුන් හා අද තියෙන්නෙ ගුරුවරයා අභිබවා ගිය අතිජාත මිත්‍රයෙකුගේ බැදීමක්. මන් ලියපු බාලිකා ළමා නිවාසයේ කාලගෝට්ටිය , බඹර පදම,බලු පදම සහ කබර පදම වගේ කතා වල ඉන්න සෙට් එකේ ඉන්න මගේ ප්‍රාණසම අතිජාත මිත්‍රයා අපේ ගෙවල් ළගම ඉන්න මගේ ගිණුම්කරණ ගුරුවරයා.ඒ එක් එක් ගුරුවරු ගැන වෙන වෙනම ලියන්න ඕනෙ. නැත්තම් ඒක ඔහුන්ට කරන අසාධාරණයක්
ඒත් අද මන් මේ ලියන්නෙ මට උගන්වපු ගුරුවරියන් දෙදෙනෙකු ගැන මට ඇති මතක. මා ජීවිතේ දැඩිව කම්පනයට ලක් වූ අවස්ථාවක් සිදුවෙන්නෙ මින් එක් ගුරුවරියක සම්බන්ධව. මා ප්‍රමුඛවම මෙම ලිපිය ලියන්න පෙළබෙව්වෙ ඇය හා වූ මතක. ඒත් මොවුන් දෙදෙනාම එක්තරා කොන්දේසි විරහිත සෙනෙහසක්,රැකවරනයක් මා කෙරෙහි වූ නිසා මොහුන් දෙදෙනා ගැනම නොලියම බෑ.
තාමත් ඔහුන් මට එතරම්ම ආදරේ කරේ ඇයි දැයි කියලා මට තේරෙන්නෙ නෑ. ඒත් මන් ඔහුන් දෙදෙනාටම පෙරළා එතරම්ම ආදරේ කරන්නෙ ඇයි දැයි කියලා මට කියන්න ඕනෙ. ඒ වගේම මට එක් ගුරුවරියගෙන් සමාව ගන්නත් ඕනෙ. ඔව් ඒකට හොදම ක්‍රමේ මේක.ඔබටත් තේරේවි ඒ ඇයි දැයි කියලා කියවනකොට.